Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th April 2024 22:49:44 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන - නැගෙනහිර මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා මුලස්ථාන - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනක් වශයෙන් අම්පාර ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වයත් සමඟ අම්පාර ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබූ අතර එම නව නිවස 2024 අප්‍රේල් මස 07 දින පැවති උත්සවයකදී නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙන ලදී.

16 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ආර්.පී ද සොයිසා ගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබූ මෙම නව නිවසේ ඉදිකිරීමේ කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික සහය සහ ශ්‍රම දායකත්වය එම ඒකකයේ භටපිරිස් විසින් ලබාදුන්හ.

මෙම උත්සවයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සුරතින් නිවාසලාභියා වෙත සංකේතාත්මකව යතුරු භාරදෙනු ලැබීය.

නව නිවස විවෘත කිරීමේ උත්සවය අතරතුරදී, නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.